කලින් කලට වෙනස්වීම්

“නංගිටත් පුලුවන් නේද හෙට අපිත් එක්ක එන්න?”

කමලා අයියට උත්තර දුන්නේ මා දිහා බලාගෙන.

“අනේ සුනිලයියා හෙට මට මාකිං තියෙනව අපෙ ඉස්කෝලේ…ඔය දෙන්නා යන්ට…අනික දැන් ඉතින් ඕන තරම් ගමේ ඉන්ට කල් තියෙනවානේ”

අපෙ අබේ මාමගෙ ලොකු පුතා සුනිල් අයියා ගාල්ලේ අවුරුදු තිස්පහකටත් වැඩිය වැඩ කරලා විශ්රාම ගියේ දැනට මාස දෙකකට ඉස්සර. වසන්තා අක්කා නැතිවෙලා අවුරුදු දෙකත් පහුවෙලා නිසා වෙන්ට ඇති අයියට ආපහු ගමේ පදිංචියට එන්ට හිතුනේ. ලමයි දෙන්නම කොළඹ පදිංචියට ආවට පස්සේ අයියට වසන්තා අක්කා ඇරුනුකොට ආයෙ ගාල්ලේ ඒ තරම් බැඳීමක් ඉතුරුවෙලා තිබුනෙ නෑ. ඊයේ කෝච්චියෙන් ඇවිත් අද රෑ අපෙ ගෙදර නැවතුනේ හෙට උදේ මගෙ කාරෙකේ ගමේ යන්නයි.

“මං මේ අයිතිකාරයා වගේ නංගිට ඉන්වයිට් කලාට තවම මලයගෙන් ඇහුවෙ නෑ මට හෙට ලිෆ්ට් එකක් දෙනවද කියලා!”

“ඕක මොකද්ද? මටත් ගමේ යන්ට ඕනෑ වෙලා හිටියේ…අයියා මේ සැරේ කොච්චර කල් ඉන්ටද හිතාගෙන ඉන්නේ?”

“තවම හරියට කියන්න බෑ…ගාල්ලේ ගෙවල් දොරවල් පිලිවෙලක් වෙනකම් ඉස්තිර පදිංචියට එන්න විදිහක් නෑ…කොල්ලෝ දෙන්නගෙන් එකෙක්වත් ආයෙ ගාල්ලේ ඉන්න යන්නෙ නෑ පදිංචියට…යන්න හේතුවකුත් නෑ….”

සුනිල් අයියා දන්නවා දරුවෝ දෙන්නට අම්මා නැතිවීම තදටම දැනුනා කියලා.

“කොහොමද පුතාලා දැන්?” අංතිමට ඒ දෙන්නා දැක්කේ වසන්තා අක්කගෙ මරන ගෙදරදී නිසා මම ඒක මතක් කෙරුවෙ නෑ.

“වරදක් නෑ…ලොක්කා තවම මහරාජා එකේ, උපුල් අයි ටී කොම්පැනියක. දෙන්නටම හොඳයි හැබැයි අපෙ කාලේ වගේ නෙවෙයි කොයි වෙලාවෙත් රස්සාවෙම තමයි. දෙන්නා එකතුවෙලා ගෙදරක් එහෙමත් ගත්තා මාලබේ පැත්තේ…ඉඳලා හිටලා නංගිගෙ ගෙදරත් එනවලු. මං මෙහෙ එනගමන් කොළඹත් දවස් කීපයක් නැවතිලයි ආවේ”

කමලට දැනෙනවා අයියගෙ තනිකම මට වඩා හොඳට. “අනේ හොඳයි එහෙත් ගිහින් ආපු එක…හැබෑට මටත් ආසයි අනූ අක්කා එහෙමත් දැකගන්න….ලොකු පුතා තව තැන්පත් වෙන්ට මොකවත් කරගන්ට අදහසක් නැද්ද?”

අයියට හිනා ගියා.

“අනේ නංගී ඕවා මගෙන් අහන්න එපා…උන් උන්ට ඕනැ දෙයක් කරගනී…දැන් ඉස්සර කාලේ වගේ නෙවෙයි…”

කතාව වෙන අතකට හැරෙන්න ඒ ඇතිඋනා.

“අබේ මාමයි නැන්දයි බලාගෙන ඉන්නවද හෙට එනවා කියලා? මං ඇහුවේ … මෙහෙ දවසක් දෙකක් ඉඳලා යන්නෙ නැත්තේ ඇයි?”

“ඒ අය බලාගෙන නොහිටියත් හෙට ගියොත් හොඳයි මලයා - තවම ඩිසයිඩ් කරලා නෑ අප්පච්චියි අම්මයි එක්ක මහ ගෙදර ඉන්නවද වෙන පැලක් අටවාගන්නවද කියලා…”

“අප්පේ මාමලා නැන්දලා කැමතිවෙයි සුනිල්ලයියා මහගෙදරම හිටියොත්….ඕවා හිතලා බලන්ට කල් තියෙනවා. හෙට ගිහින් බලන්ටකෝ”

කමලා මෙහෙම කියලා කෑම මේසේ අස් කරන්න පටන් ගත්තේ අයියටයි මටයි එලියේ සාලෙට යන්න ඉඟියක් වශයෙනුයි.

…………………………

සුනිල් අයියයි මමයි ගමේ යන්න උදෙන්ම පිටත් උනා. මට ඕනැ උනේ අයියා මහ ගෙදර දාලා, වත්ත පැත්තෙත් ගිහින්, දවල්ට කාලා ආපහු ගෙදර එන්නයි. නමුත් මම කමලට කියලා ගියේ සමහරවිට එක රැයක් ගමේ නවතින්ටත් ඉඩ ඇති කියලා. කමලා දන්නවා මම අබේ මාමා එක්ක පැය ගානක් උනත් කයිවාරු ගහ ගහ ඉන්ට බොහොම කැමති බව.

මම විතරයි අබේ මාමගෙ ලඟ නෑයෙක් ඒ අය බලන්න කියලා මාසෙකට දෙකකට සැරයක්වත් එහෙ ගියේ. තමංගෙ දරුවෝ හතරදෙනාගෙන් පිටරට ඉන්න දෙන්නා ආපහු ලංකාවට එන පාටක් නැති බව මාමට තේරෙනවා. මාමලාගෙ බාල දුව, අනුලා නංගිත් කොළඹට පුරුදුවෙලා; දැන් ගමේ එන්නේ අවුරුද්ද්කට සැරයක් දෙකක් විතරයි. සුනිල් අයියා ආපහු ගමට ආවොත් ඒකෙන් මාමගෙයි නැන්දගෙයි හිතට ලොකු සැනසීමක් වෙනවා. පසුගිය අවුරුදු විස්සක් විතර මහ ගෙදර හිටියේ මාමයි නැන්දයි වයසක කුස්සිඅම්මයි විතරයි. ලඟක ඉඳන් ගුනපාල කොල්ලත් කුස්සිඅම්මට උදව්වට ඉන්නවා.

ඉඳලා හිටලා ගමේ ඉඩකඩම් බැලීමට යන ගමනට මම වඩාම කැමතිඋනේ මාමත් හමුවීමට හැකිවෙන නිසයි. අපි දෙන්නා සාමාන්යෙන් අරක්කු හෝ බීර ටිකකුත් තොලගෑවේ අප්පුහාමී ගැන කතා කරමිනුයි. සුනිල් අයියාගේ පැමිනීම නිසා මේ සම්බන්දය කොයි තරම් වෙනස්වෙයිද කියලා හිතාගන්න මට අමාරු උනා.

කාරෙක මාමලෑ ගෙදර මිදුලට ගන්නකොට මාමයි නැන්දයි දෙන්නම ඉස්සරහ සාලේ වාඩිවෙලා හිටියේ. හාමුදුරු නමකට පමනක් ලැබෙන පිලිගැනීමකුයි සුනිල් අයියට ලැබුනේ. වෙන කිසි කෙනෙකුට නොකරන විදිහට මාමයි නැන්දයි දෙන්නම පුටුවලින් නැගිට්ටා. අයියා දෙන්නටම දනගහලා වැඳලා ඉවරවෙනතුරුත් දෙන්නම හිටගෙන හිටියා.

නැන්දා ඔසරි පොටෙන් කඳුලු පිසගත්තේ කිසි දෙයක් නොකියා. මාමා සුනිල් අයියගෙ ඔලුවට අත තියලා “හොඳටම කොන්ඩේ ගිහින්…මටත් වැඩිය නාකිවෙලා” කිව්වේ උන්දැගෙත් කඳුලු වහගන්න කියලා මට හිතුනේ.

“මාමා මම වත්ත පැත්තේ පොඩ්ඩක් ගිහින් එන්නං” කියලා මම එලියට බැස්සේ මාමටයි නැන්දටයි තමංගෙ ලොකුපුතත් එක්ක නිවිහැනිහිල්ලේ කතා කරගන්න ඉඩ දෙන්නයි.

“පුතා තේ එකක්වත් බීලා යන්ට” නැන්දට තේරෙනවා මට වත්තට යන්න ඕනැකමක් නැතිබව.

“නෑ නැන්දා…අද ටික්කට කියලා කුරුම්බ ගෙඩියක් කඩාගෙන බොන්න ඕන”

ටිකිරිබංඩා සොයාගන්න මට සෑහෙන වෙලාවක් ගියා. උඩහ වංගුවේ කඩේ ඉඳලයි අන්තිමට මම මිනිහව අල්ලගත්තේ. ඊලඟ කරාඹු කඩන කොන්තරක්කුව ගැන කතා කර කරයි අපි දෙන්නා මලුවේ ගලක් උඩ වාඩිවෙලා කුරුම්බා බිව්වේ. මම දන්නවා නැන්ද මාමට ඕන වෙනවා සුනිල් අයියගෙ අනාගතේ ගැන විස්තර සහිත කතාකරගන්න. ඒ නිසා තව පැයක් දෙකක්වත් වත්තේ ගැවසෙන්න පුලුවන්වෙයි කියලා මට හිතුනා. නමුත් ගෙදරින් ඇවිත් පැයක් යන්නත් ඉස්සර මාමා අපි හිටපු ගල ලඟට ආවා.

“ටිකිරිබංඩෝ…අර ගල්වැට ලඟ කොස් ගහෙන් ඇඹුල් පොලොස් ගෙඩියක් කඩාගෙන ගිහින් දෙනවද? තව කුරුම්බා කීපෙකුත් ගෙදර අරගෙන ගියොත් හොඳයි…මැනිකෙට කියාපන් අපි ටිකකින් එනවා කියලා”

“කුරුම්බා කීයක් විතරද නිලමේ?”

“තුන හතරක් තිබුනොත් ඇති”

ටික්කා ගෝනියත් පිහියත් අරගෙන පහලට බැස්සට පස්සේ තමා මට හිතුනේ මාමා ටිකිරිබංඩව එලවාගත්තා කියලා. ඒ කියන්නේ මාත් එක්ක කතාකරගන්න වැදගත් මොනවත් ඇති. මාමා ගල උඩ වාඩිවෙලා මා දිහා බැලුවා.

“ලොක්කා පුතාට කිව්වද ගමේ පදිංචියට එන කතාව?”

“ඔවු මාමා…ගාල්ලේ ගෙදර ගැන මොකක් හරි පිලිවෙලක් කරලා එන්ට කියලා තමා හිතාගෙන ඉන්නේ…හැබැයි මහගෙදර ඉන්නවද වෙන ගෙදරක් හදනවද කියලා තවම හිතලා නැතිලු…ඇයි මාමා ඇහුවේ?”

“නෑ….ඒකම තමා මටත් කිව්වේ…පුතා මොකද කියන්නේ ලොක්කා ගමේ එනවට?”

“හොඳයිනේ මාමා…මාමලාට කොච්චර හොඳද අයියා මෙහෙ ඉන්න එක”

“ඇත්ත ඇත්ත…අපිට හොඳයි…ප්රශ්නේ...ඒක ලොක්කට කොහොමද? එක සැරේම ඔහොම හුඟාක් දේ වෙනස් කරන එක හොඳද? ගාල්ලේ ටවුමෙන් පිටිසර ගමකට…වැදගත් රස්සාවකින් විශ්රාමෙට…වසන්තා කෙල්ල නැතිවෙලා තවම අවුරුදු දෙකයි…පොඩිඋන් දෙන්නා ආයෙ මෙහෙ එන එකක් නෑ…නාකි දෙමව්පියොත් එක්ක ඉන්ට පුලුවන්වෙයිද මිනිහට මේ වෙනසුත් එක්ක?”

මාමා ඇත්තටම කතාවේ දෙපැත්තම ගැන හිතලා.

“අනේ මාමා ඒක මට කියන්ට බෑ….අයියට විතරයි ඒකට උත්තරදෙන්ට පුලුවන්…ඒකත් එක සැරේම බැරිවෙයි මාස ගානක් මෙහෙ ඉඳලා නොබලා…”

මාමගෙ ඇස් දෙකේ ආයෙත් කඳුලු එනවා වගේ දැකලා මම අහක බලා ගත්තා. ඊලඟට මාමා කතාකලේ ඇලෙන් එගොඩ කන්ද දිහා බලාගෙන.

“පුතා දන්නවා නේද ලොක්කා පලවෙනි රස්සාව හම්බුන දවසේ ඉඳන් දවස් පහ හයකට වැඩිය එක දිගට ගමේ ඉඳලා නෑ. ඒ දැන් අවුරුදු හතලිහක විතර කාලයක්. මගෙම කොල්ලා උනාට ලොක්කට වැඩිය මම උඹ ගැන දන්නවා…පහුගිය අවුරුදු දහ පහලවේ මොකවත් හද්දිස්සියක් උනොත් මම ඉස්සරවෙලා හිතුවේ පුතා ගැන මිස මගෙම එකා ගැන නෙවෙයි …. විස්වාස කරන්ට, මම කවදාවත් ලොක්කත් එක්ක බීර වීදුරුවක්වත් බීලා නෑ!”

මේකට උත්තරයක් දෙන්න මටත් ටිකක් වෙලා ගියා.

“මාමා…අර ‘බෙටර් ලේට් දෑන් නෙවර්’ කියලා කතාවක් තියෙනවානේ… දෙන්නම හෙමින් හෙමින් පටන්ගත්තොත් ඕක හරියයි…හැබැයි කල් ඕනෑ…”

“අපිට තව කොච්චර කල් තියෙනවද කියලා කවුද දන්නේ!”

“ඒ නිසාමයි අදම පටන්ගන්ට ඕනෑ! අනික, අර එකට බීර වීදුරුවක්වත් බීලා නැති එක අදම හදාගන්ට පුලුවන් - කාරෙකේ අරක්කු තියෙනවා!”

මාමට හිනා ගියා.

“පුතාට ඉන්ට පුලුවන්ද අද රැ?”

“මං කමලට කියලා ආවේ සමහරවිට රෑට එන්නෙ නෑ කියලා”

“හරි එහෙනං…අදම වැඩ පටන්ගන්න පුලුවන්!...තව එකක් තියෙනවා මම පුතත් එක්ක කතාකරගන්න, ගෙදර යන්ට ඉස්සර”

“මොකද්ද මාමා? සීරියස් වගේ”

“අප්පුහාමී…”

“මොකද අප්පුහාමී ගැන?”

“….ලොක්කට අප්පුහාමී මුනගස්සන්න ඕනෑ වැඩි කාලයක් යන්න ඉස්සර…”

“මොකද්ද හදිස්සිය?”

“නැත්තම් ගමේ ජීවිතේ…මං කියන්නේ අපෙ පවුලේ ගමේ ජීවිතේ…සම්පූර්න නෑ අප්පුහාමිගෙ කට්ටිය නැතුව… ඒ අයත් අපෙ ඉඩම්වල කොටසක් හැටියටයි මම හිතන්නේ…ලොක්කට මෙව්වා බාරදෙන්න බෑ සම්පූර්න කතාව නොකියා…”

මාමගෙ කතාවේ ඇත්තක් තියෙනවා. ඒ වගේම වෙනදට වැඩිය පොඩි වෙනසක් තියෙනබව මට දැනුනා.

“…ම්…මාමා….මාමා කිව්වේ ‘අප්පුහාමිගෙ කට්ටිය’ කියලා…හරියට තව අය ඉන්නවා වගේ…”

මාමා මා දිහා බලලා යන්තම් හිනාඋනා.

“මම පුතාට කියන්ට හිටියේ…අප්පුහාමිගෙ බෑනා ඇවිල්ලා ඉන්නවා මේ දවස්වල”

……………………………………..

“අයියට මතකද මලුවේ බෝක්කුව ලඟ අට්ටික්කා ගහ?”

මම මෙහෙම අයියගෙන් ඇහුවේ දවල් කෑමෙන් පස්සේ මාමයි නැන්දයි පුරුදු විදිහට ටිකක් හාන්සිවෙන්න ගියහමයි. අයියට අප්පුහාමී ගැන පලමුවෙන් කියන එක මට බාර දීලයි අබේ මාමා නිදන්ට ගියේ. එක අතකින් ඒක හොඳ අදහසක් - පියෙකුට වඩා හොඳට මේ වගේ දේ ගැන කතා කරන්න සහෝදරයෙකුට පුලුවන්. අපි එලියේ සාලේ හාන්සිපුටුවල දිග ඇදිලයි කතාව පටන්ගත්තේ.

“ඇයි ඉස්සර වගේ ගිහින් අට්ටික්කා කඩන්නද?” අයියා හිනා උනා.

“ඒ කියන්නේ අයියට ගහ මතකයි…ආයෙ මොනවද ඒ ගහ ගැන මතක?”

“හරිම විසාල ගහක් නේද ඒක?”

“ඔවු…සයිස් ඇරුනුකොට?”

මං බැලුවේ දෙවියෙකුගෙ කතාවා අයියා විසින්ම මතක් කරගන්ටයි.

“මලයා මොකද ඔය ගහ ගැන ඔය තරම්?”

“උත්තර දෙන්ටකෝ බලන්ට…ඇයි කියලා එතකොට කියන්නම්”

“මේක ආයෙත් ඉස්කෝලේ වගේ! උඹ ගුරුවරයෙක්වත් නෙවෙයි!... ඒකේ මුලක් කපලා පොඩි කුප්පියක් ඒකට ගැහුවොත් අට්ටික්කා වතුර ටිකක් එකතු කරගන්න ඇහැකි…මට මතක හැටියට…….ආයෙ ගොං කතාවක් තිබුනා ඒකේ අරක්ගත්ත දෙයියෙක් ගැන…ආයෙ… අ…අට්ටික්කා ලී ගෙවල් හදන්න ගන්නෙ නෑ?...”

“නරක නෑ අයියගෙ මතකේ, අවුරුදු හතලිහකට පස්සේ…ඒ දෙයියෝ ගැන කතාව කොච්චර මතකද?”

“…අර කවුද බූරුවෙක් ඒක ගැන කිව්වා කියලා යන්තං මතකයි මිස ආයෙ මොකවත් නෑ…පොඩි කාලේ අපි ඒ ගහ ලඟින් යන්නත් බයයි නේද කලුවර උනෑයින් පස්සේ?”

මට අයියගෙ මතකෙන් මතුකරගත්ත දේ ඒ ඇති කියලා හිතුනා. ඊ ලඟට මම කතා කරේ අයියා දිහා කෙලින්ම බලාගෙනයි.

“ඒ දෙයියෝ මට හැබෑවට හම්බවෙලා තියෙනවා!”

අයියා මහ හඬින් හිනා උනේ පුටුවෙනුත් නැගිටලයි. මගෙ පිටට හයියෙන් ගහලා හිනහව අස්සෙම අයියා අමාරුවෙන් කතා කරා.

“මාර…ලනුවක් නේද…මට … ගිල්වන්න හැදුවේ?...මමත් සීරියස් පිට අහගෙන ඉන්නවා…!”

මගෙ මූනේ කිසිම හිනාවක් නැති නිසා අයියා ටිකින් ටික හිනාව නතරකරගන්න මහන්සි උනා.

“මලයා ටිකිරිබංඩත් එක්ක මොනවද බිව්වේ, උඩහට ගිහින්?”

මට ආයෙත් වචනයක් එලියට ගන්ට ටිකක් වෙලා ගියා.

“මගෙ ඇස් දෙකෙන් දැක්කෙ නැත්තං මමත් විස්වාස කරන්නෙ නෑ අයියා, ඔහොම කතාවක් මොකා කිව්වත්…අබේ මාමටයි මටයි දෙන්නටම හම්බවෙලා තියෙනවා ඒ දෙයියෝ කීප සැරයක්…අපි වෙන කාටවත් මේ ගැන කියලා නෑ…නැන්දාවත් කමලාවත් දන්නෙ නෑ….”

අයියා ආයෙත් හිනාවෙන්ට පටන්ගත්තා.

“…උඹ…උඹ අපෙ අප්පච්චිත් එක්ක මොනවද බොන්නේ?...”

“අරක්කු නැත්තං බියර්”

“මොනවා? උඹ අපෙ අප්පච්චිත් එක්ක බොනවා? යකෝ මංවත් ඒක කරලා නෑ නේ? උඹ මටත් බාලයි!”

“කොහෙද ඉතින්…අයියා ගෙදර නෑ නේ…මාමා මට අදත් කිව්වා ලොක්කා එක්ක තව එකට බීර වීදුරුවක්වත් බීලා නෑ කියලා…මාමට ඒක ගැන හරි කනගාටුයි”

අයියගෙ හිනාව සම්පූර්නෙන්ම මැකිලා ගියා. සද්ද නැතුව විනාඩි කීපයක් මිදුල දිහා බලාගෙන හිටියේ දැඩි කනගාටුවකින් වගේ.

“අපි යමුද ඇල දිහාට?”

……………………..

අපි ඇලේ ගලක් උඩ වාඩිවෙලා පැයක් විතර කතා කර කර හිටියා. පහුගිය අවුරුදු හතලිහේ මාමගෙයි නැන්දගෙයි ජීවිතේ ගැනත් අපෙ ඉඩම් කඩම් තොරතුරුත් ගමේ මිනිසුන්ගේ තොරතුරුත් අයියා මගෙන් හාරාසොයා ඇහුවේ දීර්ගකාලීන පිපාසයක් නිවාගන්නෙක් වගෙයි. අප්පුහාමී ගැන තොරතුරු උනත් ඉස්සරවෙලා වගේ විහිලුවක් හැටියට එක සැරේම අහක දැම්මෙ නෑ. අපි ආපහු ගෙදර එන්න නැගිටිනකොට අයියා මට කතා කරේ පොඩි කාලේ වගේ මගෙ කර උඩින් අත දාගෙනයි.

“මලයා…උඹ…උඹ කරලා තියෙන හුඟාක් දේ මා අතිනුයි වෙන්න තිබුනේ… මම ඒවා අමතක කරලා දැම්මා…අපෙ සේරගෙම හොඳ වෙලාවටයි උඹ ආපහු මේ පලාතට ආවේ ලමයි හොඳ ඉස්කෝලවලට දාගන්න…අම්මටයි අප්පච්චිටයි උඹ වටිනවා බං මට වැඩිය…ඒ අය මම අඳුනන්නෙත් නෑ වගේ…අර අප්පච්චී කිව්ව වගේ…මම බීර වීදුරුවක් වත් බීලා නෑ අප්පච්චිත් එක්ක….”

“මං කරපු ඇති දෙයක් නෑ අයියා…මාමලා මායි නංගියි බලාගත්තෙ නැත්තං මොනවා වෙන්ට තිබුනද…අයියට තියෙන්නේ…අර කිව්වා වගේ, දෙන්නා ආයෙත් හඳුනගන්ටයි…කාරෙකේ අරක්කු තියෙනවා අද හවස මාමයි මමයි ‘ආශ්රය කරන්ට’ පුලුවන් හඳුනාගැනීමේ ‘පලවෙනි අධියර’ හැටියට… දැන් ගිහින් මාමලත් එක්ක තේ බොමු”

……………………………………

වටින් ගොඩින් අඳුර වැටීගෙන එනකොට අයියයි මමයි ඇලෙන් නාලා ගෙදර ආවා. මාමා මට කතා කරා ඉස්සරහ කාමරේට - ඒ මාමගෙ පුරුදු බීමට ආරාදනයයි.

“ලොක්කටත් කතා කරන්ටකෝ පුතා”

මාමා මෙහෙම කිව්වේ අපි දෙන්නා බීම වීදුරු බාගයක් වත් ඉවරකරන්න ඉස්සරයි. මට පෙනුනේ මාමත් අයියා තරමටම මේ අලුත් ‘ආශ්රය’ සුලු දෙයක් හැටියට නොදුටු ලෙසයි. මම අයියට කතාකරනකොට එයා හිටියේ නැන්දත් එක්ක කෑම කාමරේ කතා කරමිනුයි.

වෙනදා අපෙ බීමට වචනෙන් කිසිදෙයක් නොකියා අකැමැත්ත පෙන්වන නැන්දා අද මාත් එක්ක හිනා උනා.

“පුතා එහෙනං මේ බැදපු අල කෑලි ටිකත් අරගෙන යන්ටකෝ - මාමට මොකවත් හපන්ට ඕනෑ ඇති”

මාමා එයාගෙ ලොකු පුතා වීදුරුවට බීම දාගත්ත වහාම වතුර ජෝග්ගුවත් පුතාගෙ අතට දුන්නා. අපි තුන්දෙනා “චියර්ස්” කියනකොට අප්පච්චිගෙයි පුතාගෙයි දෙන්නගෙම ඇස්වල කඳුලු දිලිසුනා. මම ඉක්මනටම කතාව පටන්ගත්තේ මේ දෙන්නගෙන් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්න බැරි බව දැනගෙනයි.

“මාමා මම අයියට කිව්වා අප්පුහාමී ගැන….”

“මොකද්ද අප්පච්චී මේ මලයා කියන්නේ?”

අප්පච්චිටයි පුතාටයි කතා කරගන්න දීලා මම හෙමින් කාමරෙන් එලියට ගියා. ඇතුලේ කෑම කාමරේ නැන්දා ලඟ වාඩි උනේ බැදපු අල කෑල්ලකුත් හපමිනුයි.

“මේවා නියමයිනෙ නැන්දා”

“…මේ හදිස්සියට බැදගත්තේ…කොහොමද අප්පච්චියි පුතයි?”

නැන්දා ඒ දෙන්නගෙ සාකච්චාවෙන් පිට ඉඳීම ගැන කනගාටුවක් ඒ ප්රශ්නෙන් මට දැනුනා.

“දැන් ඉතින් අයියත් ගමේ ඉන්ට එන එකේ මාමත් එක්ක කතා කරගන්ට හුඟාක් දේ ඇතිනේ…මං හිතන්නේ නැන්දා අවුරුදු ගානකට පස්සේ…ආයෙ මුල ඉඳන් කියන්ට දේ ඇති…”

“කොහොමහරි ලොකුපුතා ආපහු ගෙදර එනවානං ආයෙ මොනවද? දැන් ඉතින් අපිටත් වැඩිය තනි ඇතිනේ…”

නැන්දා පුතාගේ කරදර ගැන සෑහෙන්ට හිතලා තියෙනවා කියලා මට හිතුනා.

මම ඉස්සරහ කාමරේට ආයෙත් ගියේ විනාඩි විස්සකට විතර පස්සේ. මට ඉස්සරවෙලාම ඇහුනේ මාමගෙ හිනාවෙන් පිරුනු කට හඬයි.

“…ඉතින් මම අප්පුහාමිගෙන් ඇහුවා ‘දෙයියන්ට කොහෙද බෑනලා’ කියලා. ‘තමාගෙ දුව බැන්දේ මෙයාද’ කියලත් ඇහුවා…මිනිහට කට උත්තර නෑ. අන්තිමට කිව්වා ‘මම බෑනා කිව්වට මෙයා පුහුනුව ලබනවා මා ලඟ’ කියලා….දෙයියන්ගෙ අත්වැඩ .කාරයා…”

දෙන්නම හයියෙන් හිනා උනා.

“හා පුතා…දාගන්ට තව එකක්…අපි මේ දෙවෙනි එක අරගෙන ඉන්නේ…ආයෙ එකයි - අපි කනවා”

“ඔවු අප්පච්චී…තුනක් හොඳටම ඇති. අම්මා මහන්සිවෙලා කෑම හදලා අතන තනියෙම…හැබැයි හෙට මට අප්පුහාමී හම්බුවෙන්න ඕනෑ”

එදා මාමාලාගෙ ගෙදර රෑ කෑම මගුල් ගෙදරක තරමට සරුවට තිබුනා. අපි නැන්දටත් කතා කරලා එකට කෑමට වාඩි උනේ නැන්දට පින්දීලයි. නැන්දා කොයි වෙලාවේ මේ තරම් කෑම වර්ග ලෑස්ති කරාද කියලා මට හිතාගන්ටත් අමාරු උනා. කුස්සිඅම්මා කොච්චර කුස්සියේ දිනපතා වැඩ කරත් විශේෂ අවස්තාවක නැන්දා හුඟක් මහන්සි උනා. කෑම පෙනුමෙන් විතරක් නෙවෙයි රසෙමුත් ඉස්තරම් තත්වෙට තිබුනා. නමුත් මට හිතුනේ කෑම මේසේ උඩ තිබුන දේ වලට වැඩිය අපි හතරදෙනාගෙ හදවත්වල තිබුනේ ඊටත් වඩා රසවත් දෙයක් කියලා.